ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු අද (ජුනි 22) අධිකාරියට පත් කරන ලදී.

ඒ අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 32 (තාක්‍ෂණික) සහ 33 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 59 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යා‍ගමික පූජකවරුන්, ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික ප්‍රදේශභාර ආඥාපතිවරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 32 වන (තාක්‍ෂණික) බඳවා ගැනීමට අයත් සමස්ත හා වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය, මධ්‍ය නිලධාරි එම්ඒඑස්එල් විජේරත්න හිමි කර ගන්නා ලදී. තවද, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 33 වන බඳවා ගැනීමට අයත් සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු සහ දක්ෂතම මධ්‍ය නිලධාරියා වෙත පිරිනමනු ලබන අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී එස්එම්ඩීඑස් මානවඩු හිමි කර ගන්නා ලද අතර, මධ්‍ය නිලධාරී ඩබ්පීඑල් ද සිල්වා වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුලසානය හිමි කර ගන්නා ලදී. දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩීඊඑස් ජයකොඩි හිමි කර ගන්නා ලද අතර, බඳවා ගැනීමේ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ජීඒඒයූ මහවත්ත විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 59 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී වයිඑස් තෝමස් හිමි කර ගන්නා ලද අතර, මධ්‍ය නිලධාරී එස්ඒපීඩී රත්ගාල්ල වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු, සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු සහ ජල තරණ විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී වීරසිංහ හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරි කේඒඩීයූ මධුසංක හොඳම ඉලක්කකරුට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ අධිකාරියට පත් කළ නිලධාරීන් හට පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ඉතා කැපවීමෙන් අවසන් කල දුෂ්කර වූ පුහුණුව තුලින් ලබා ගත් ශාරීරික හා මානසික ධෛර්යය අදින් පසු මාතෘ භූමියේ උන්නතිය උදෙසාත්, නාවික හාමුදාවේ අභිවෘද්ධිය උදෙසාත් ලබා දීමට කටයුතු කළ යුතු බවත්, මෙවන් අභීත නිලධාරීන් රට දැයට තිළිණ කරන්නට මනා කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කල නාවික හමුදාධිපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු ඒ උපදේශක කාර්යය මණ්ඩලයට සිය හෘදයංගම ස්තූතිය පුද කිරීමට කටයුතු කරන ලදි. එමෙන්ම තම දරුවන් මාතෘ භූමිය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙත දායාද කර දුන් දෙමාපියන් හට ස්තූතිය පුද කර, විසිර ගිය තරුණ නිලධාරින් හට සුභාසිංෂණ එක් කරන ලදි.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය. අධිකාරියට පත් නිලධාරීන් 89 දෙනා අතරට 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (තාක්‍ෂණික) බඳවා ගැනීමේ නිලධාරීන් 19 දෙනෙක්, 33 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය බඳවා ගැනීමේ නිලධාරීන් 44 දෙනෙක් සහ 59 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් 26 දෙනෙකු ඇතුළත් විය.