ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී සිසු අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී 2019 ජුනි 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.‍

එම අවස්ථාව සඳහා නාවික හමුදා ‍අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය ‍හා සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ පාසලේ විදුහල්පතිනීය, ගුරුවරුන් ඇතුළු පාසල් දුවාදරුවන් මෙන්ම දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදාවේ මුල්‍ය දායකත්වය සහ ශ්‍රම දායකත්වය මත ස්ථාපිත කරන ලද මෙම ජල පිරිපහදු යන්ත්‍රය මඟින් එම පාසල් දු දරුවන් හට සිය පානීය ජල අවශ්‍යතා සපුරාලිමට අපේක්‍ෂා කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම පෙරදැරි කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව, ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.