අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් තිදෙනෙකු 2019 ජුනි 26 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට මෙරටට පැමිණ ඇති බව කරුණු අනාවරණය කර ගන්නා ලදි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24, 27 සහ 34 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඩෙල්ෆ් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඩෙල්ෆ්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.