කතරගම පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගේ අධික්‍ෂණය යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් අද (ජුනි 27) දින සිට මෙම සත්කාර සේවය ආරම්භ කර ඇත.

තවද, අද උදෑසන බැතිමතුන් ඔකඳ, මුරුගන් දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔකඳ සිට කුමණ ජාතික උද්‍යානය හරහා කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගීවන ලදී.

දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ පා ගමනින් පැමිණෙන එම බැතිමතුන් හට සමාජ සත්කාරයක් ලෙස අවශ්‍ය ආහාර, ජලය සහ සනීපාරක්‍ෂක කටයුතු මෙන්ම අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීමටත් ගිණිකොන නාවික විධානය විසින් කටයුතු සුදානම් කර ඇත.