නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ‍විදුලි ජනක යන්ත්‍රයක් සහ විදුලි බල්බ 09 නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, විදුලි ජනක යන්ත්‍රය, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.