බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 988.4 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 20 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම 2019 ජුනි 29 වන දින අළුයම ද මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කැලෑයක් තුල සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 126.5 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වන ලදී. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩි කොළ කිලෝග්‍රෑම් 4500 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වන ලදි.