නාවික හමුදා දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් නාවික හා සාගරික විද්‍යාපිඨයේදී ආරම්භ කෙරේ

නාවික හමුදා විධායක අංශයේ නිලධාරින් සඳහා දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් 2019 ජුනි 30 වන දින සිට නාවික හා සාගරික විද්‍යාපිඨයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.

නාවික හමුදා විධායක අංශයේ නිලධාරින්ගේ දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් සඳහා අවශ්‍ය පහසුකම් නාවික හා සාගරික විද්‍යාපීඨයේ නොතිබිම හේතුවෙන් මිට පෙර විදේශිය රටවල් කේන්ද්‍ර කර ගනිමින් එම දිර්ඝ විශේෂඥ පාඨමලා පැවැති අතර, නාවික හා සාගරික විද්‍යාපිඨ‍ය තුල අදාල පහසුකම් ස්ථාපිත කිරීමෙන් අනතුරුව මෙම පාඨමාලාවන් මෙරටදී සිදු කිරීම ජුනි 30 වන දින සිට ආරම්භ කරන ලදී. ඒ අනුව නාවික හා සාගරික විද්‍යාපිඨයේදී විධායක අංශයේ නිලධාරින් සඳහා සංඥා, අවි, මාලිමා සහ ප්‍රති සබ්මැරීන් යුද්ධ උපක්‍රම යන දිර්ඝ විශේෂඥ පාඨමාලාවන් මින් ඉදිරියට පැවැත්විමට කටයුතු යොදා ඇත.

මෙහිදි මෙම කර්තව්‍ය යථාර්තයක් කර ගැනීම සඳහා ඉන්දියානු නාවික හමුදාවෙන් සහ විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න යන නිලධාරින් විසින් අදහස් දක්වන ලදී. තවද, වෘත්තිය සංවර්ධනය සඳහා වෘත්තිය පුහුණුවේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා මෙම ඓතිහාසික ජයග්‍රහනය ලබා ගැනීම උදෙසා කැපවූ නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති ඇතුළු පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇගයීමට ලක් කරන ලදී.

ඒ අනුව දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන්හි ආරම්භක දිනය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්න කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ උත්සවයක් පැවැති අතර, ඒ සඳහා ආරධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මෙන්ම නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් ඇතුළු පුහුණුවන නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.