නාවික අනුඛණ්ඩය ‘මහව’ නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කෙරේ

නාවික අනුඛණ්ඩය ‘මහව’ 2019 ජුනි 30 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කරන ලදී.

ඒ අනුව නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා එම පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් ද රෝපණය කරන ලදී. නාවික ස්ථානගත කිරීම ‘මහව’ අනුඛන්ඩයක් ලෙස 2008 අප්‍රේල් මස 05 වන දින ස්ථාපිත කර ඇති අතර, මේවන විට මහව නාවික ස්ථානගත කිරීම තුළ නාවික හමුදා පුහුණු කටයුතු මෙන්ම නාවික හමුදා කෘෂී ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.

මෙහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා, මෙම නාවික ස්ථානගත කිරීම බෝම්බ නිශ්ක්‍රිය කටයුතු සම්බන්ධයෙන් පුහුණු ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අදහස් කර ඇති බවත්, හමුදා පුද්ගලයෙකු වශයෙන් බෝම්බ නිශ්ක්‍රිය කිරීම සම්බන්ධයෙන් මුලික දැනුම වැදගත් වන බවත් ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම වර්තමානයේ ජාතික ආරක්‍ෂාව සඳහා තර්ජනයක්ව පවතින ‍වෙඩි බෙහෙත් උපයෝගි කරගෙන සිදු කරන ලබන විවිධ ක්‍රියාකාරම් මැඩපැවැත්විම සඳහා වෙඩි බෙහෙත් හඳුනා ගැනීම ඉතා වැදගත් බවත්, වෙඩි බෙහෙත් හඳුනා ගැනීම සම්බන්ධ පුහුණු කටයුතු සිදු කරනු ලබන නාවික ස්ථානගත කිරීම නාවික හමුදාවට මෙන්ම ජාතික ආරක්‍ෂාවටත් ඉතා වැදගත් වන බව ප්‍රකාශ කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, නාවික ස්ථානගත කිරීම ‘මහව’ හි අණභාර නිලධාරි, කොමාණ්ඩර් ලලිත් කුමාර ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත දෙපාර්ථමේන්තු ප්‍රධානීන් ඇතුළු ‍නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.