පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයෙන් වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී වෙරළට ආසන්නව පඳුරක් තුල සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, වෝටර්ජෙල් ටියූබ් 04 ක්, අඩි 01 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූල් 24 ක්, විදුලි නොවන ඩෙටනේටර් 116 ක් සහ ගිනි පෙට්ටි 04 ක් සොයා ගෙන ඇත.

තවද, මෙම ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගැනීම සඳහා වෙරළ ආසන්නයේ සඟවා තිබෙන්නට ඇතැයි සැක පළ කෙරේ.