මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජුලි 01 වන දින මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට සහාය වෙයි.

‘නිමේෂිකා’ නමැති මෙම ධීවර යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් අනතුරට පත්වි ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් දැනුම් දි ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව මුහුදේ රළු භාවයද නොතකමින් එම යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් වන ලදි.

ඒ අනුව, 2019 ජුලි මස 01 වන දින සවස 0540 පැයට පමණ කිරින්ද, මහා රාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 24 ක් දුරින් වූ මුහුදේදී මෙම ධීවර යාත්‍රාව පාවෙමින් තිබෙන බව ‘සාගර’ නෞකාව මඟින් නිරික්‍ෂණය කර ඇති අතර, අනතුරට පත් ධීවරයන් සහිත ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගැනීමෙන් පසු ඇදගෙන ඒම ආරම්භ කරන ලදී. අනතුරුව කිරින්ද ධීවර වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ෂානූ’ නැමති බහුදින ධීවර යාත්‍රාව වෙත මෙම ධීවරයින් සහ ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙලෙස ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවශ්‍ය සහාය ලබා දීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.