කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන කොරල් පර නැවත වගා කිරීමේ තවත් ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2019 ජුලි 04 වන දින කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී ආරම්භ කරන ලදී.

වර්ථමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර, ඒ අනුව නාවික හමුදා දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාෂාණ කොටස් 11 මත කොරල් වගා කිරීම එහිදී සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද අතර, එම කොරල් ආශ්‍රිතව වැඩෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වය යටතේ සිදු විය හැකි හානි මැඩපැවැත්වීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

එමෙන්ම දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක මේවන විට නාවික හමුදාව කොරල් පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර, එය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.