නාවික හමුදාව විසින් සංවිධානය කරන VBSS පාඨමාලාවේ සමාරම්භක උත්සවය ත්‍රිකුණාමලයේදී

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයට සහභාගී වන පාර්ශව කරුවන් වෙනුවෙන් පවත්වනු ලබන VBSS පාඨමාලාව 2019 ජූලි 09 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තාවශයෙන් නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත කුලරත්න සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මොරිෂස්, මියන්මාරය, පකිස්ථානය, තායිලන්තය සහ සව්දිඅරාබිය නියෝජනය කරමින් නාවික නිලධාරින් 05 ක්, පොලිස් නිලධාරීන් 1 ක්, ජ්‍යේෂ්ඨ නාවිකයින් 02 ක් සහභාගී විය. තවද නාවික දියත් විධානය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය, විශේෂ යාත්‍රා බලඝණය සහ මැරීන් බළකාය නියෝජනය කරමින් නිලධාරීන් 06 ක් සහ නාවිකයින් 10 ක් මෙම පාඨමාලාව සඳහා සහභාගී වේ.

සති (02) දෙකක කාලයක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව විශේෂ යාත්‍රා බලඝණයේ උපදේශකයින් විසින් සිදුකරනු ලබයි. එහිදී ආයුධ හැසිරවීම, ආක්‍රමනශීලී සහ ආරක්‍ෂක උපක්‍රම, කුඩා ප්‍රදේශයක මෙහෙයුම් සිදු කිරීම, සිරකරුවන් හැසිරවීම, යාත්‍රා හැසිරවීම, මූලික ජල නිපුණතාවය, මත්දුව්‍ය හඳුනා ගැනිම, වෙළඳ නැව් හඳුනා ගැනිම, නැව් ආරක්‍ෂණ උපක්‍රම සහ හදිසි ආපදා වලදී ප්‍රතිචාර දැක්වීම යන ක්‍ෂේත්‍ර ඔස්සේ පුහුණු කටයුතු සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, මෙම පුහුණු පාඨමාලාව තුලින් එයට සහභාගී වන පාර්ශවයන්ට සිය රටවලට ආවේනික සාගරික අභියෝග සහ එම රටවල වෙරළ ආශ්‍රිතව සිදුවන නීති විරෝධි කටයුතු වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය වනු ඇත. තවද මේ තුලින් දේශිය හා විදේශීය පාර්ශව කරුවන්ට දැනුම හුවමාරු කර ගැනීමටත් වෘත්තිමය හැකියාව වර්ධනය කර ගැනීමටත් අවස්ථාව සැලසේ. මෙම පාඨමාලාව එළඹෙන ජූලි 19 වන දින අවසන් වීමට නියමිතව ඇත.