මුහුදේදී අනතුරට පත්වූ ධීවරයෙකු නාවික හමුදාව විසින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයට පත් ධීවරයෙකු 2019 ජූලි 11 වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව, ගාලු ධීවර වරායෙන් 2019 ජූලි 05 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘තනූජා දුව III’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු යාබදව තිබූ ධීවර යාත්‍රාවකට නැගීමට යාමේදී ඇද වැටීමෙන් යාත්‍රා දෙක අතර සිරවී අනතුරට පත්ව ඇත. මෙම ධිවරයා අනතුරට පත්වී අසාධ්‍ය තත්වයේ සිටින බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම අසාධ්‍ය රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

හම්බන්තොට ධීවර වරායේ සිට නාවික සැතපුම් 121ක් පමණ වූ දුරකදි රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් පසු හම්බන්තොට රෝහලේ ගිලන් රථයක් මඟින් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී රෝහල් වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම රෝගියා මිය ගොස් ඇති බවට සනාථ කර ඇත.