මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කිරීම මත නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාවේ සිටි විදේශිය ජාතිකයින් 09 දෙනා අද සවස කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනන්‍යතාවය හෝ ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මෙම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් ගේ අනන්‍යතාව ඉදිරි විමර්ෂණ මඟින් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ අතර, 2019 ජූලි 10 වන දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු (04) සහ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන සාම්පල් සමඟ නාවික හමුදා භාරයට ගත් ශ්‍රී ලංකාවට අයත් බහුදින යාත්‍රාව සහ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව අතර, සම්බන්ධයක් තිබිය හැකි බවට නාවික හමුදාව විසින් සැක පළ කෙරේ. කෙසේ නමුත් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැකකරැවන් සහ සැක කටයුතු ද්‍රව්‍යන් භාරදීමට නියමිතය.