නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

වැලිසර, නාවික කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල 2019 ජූලි 12 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් මෙන්ම නාවික පර්යේණ ඒකකයේ කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් ඇතුළු පිරිසක් සහභාගිවි සිටියහ.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී.

නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම අරමුණ කර ගනිමින් රචනා තරඟාවලි පැවැත්විම මෙන්ම නාවික පුද්ගලයින්ගේ පර්යේෂණාත්මක ලේඛණ ඇතලත් ‘නාවික සඟරාව’ (Navy Journal) ප්‍රකාශයට පත් කිරීම නාවික පර්යේෂණ ඒකකය මඟින් සිදු කරනු ලබන අතර, එමඟින් නාවික පුද්ගලයින්ගේ ලේඛණ හැකියාවන් වර්ධනය කරලිම මුලික අරමුණවී ඇත. එමෙන්ම නාවික හමුදාවේ සියළු තො‍රතුරු මතු අනාගතය වෙනුවෙන් සුරක්‍ෂිතව ගබඩා කර තබා ගැනීම ද මෙම ඒකකය මඟින් සිදු කරනු ලබයි.