දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (ජූලි 13) එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ සහ නාවික ස්ථාන ගතකිරීම ‘හම්බන්තොට’ යන ආයතනයන්හි නිලධාරින් හා නාවිකයින්ගේ සහභාගීත්වයෙන් ගිංතොට සහ හම්බන්තොට ලුණුලේවාය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන ලදී. ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි විය. එහිදී වෙරළ තීරයන්හි විසිරි තිබූ ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නීල හරිත සංකල්පය යටතේ සියළු නාවික විධානයන් තුල මෙවැනි වැඩසටහන් සිදුකිරීමට කටයුතු යොදා ඇත.


ගිංතොට ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


හම්බන්තොට, ලුණුලේවාය ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන