නීති විරෝධී ලෙස ලඟ තබා ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 17 වන දින තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නීති විරෝධි ලෙස නිවසක් තුල සඟවා තිබූ මෙම වියලි මුහුදු කූඩැල්ලන් තොගය සොයා ‍ගෙන ඇති අතර, එහිදි, වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1018.9 ක් සහ නිවසේ හිමිකරු නාවික හමුදා බාරයට ගෙන ඇත.

සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය මඟින් මුහුදු කුඩැල්ලන් ලඟ තබා ගැනීමට අවසර ලබාදී ඇති ප්‍රමාණයට වඩා මුහුදු කුඩැල්ලන් ලඟ තබා ගැනීම හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 33 වන වියෙහි පසුවන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ වියලි මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට වෙත භාර දීමට කටයුතු කෙරිණි.