කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබූ මෙම කැස්බෑ මස් කිලෝග්‍රෑම් 80 සමඟ පුද්ගලයා ‍මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෑතක සිට වඳවී යන සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් වන ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

විශේෂයෙන් දකුණු සහ නැගෙනහිර මෙන්ම ගිණිකොන දිග වෙරළ තීරයන් කැස්බෑවන් විශාල වශයෙන් බිත්තර දමනු ලබන ප්‍රදේශ ලෙස නාවික හමුදාව මේවන විට හඳුනාගෙන ඇති අතර, පසුගිය වසර දෙකක පමණ කාලය තුල නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 7000 ක් පමණ සංරක්‍ෂණයෙන් පසුව සාගරයට මුදාහැරීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙවැනි සත්වයින් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකිමක් වන අතර, ඒ සඳහා අප සැම එක්ව කටයුතු කළ යුතුව ඇත.