නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායක වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක් කෙරේ

‘ජනාධිපති ක්‍රීඩා සම්මාන උත්සවය - 2019’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2019 ජූලි 17 වන දින පැවැති අතර, එහිදී නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායක වසරේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි. මෙහිදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ අංශවල දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ලදී. ඒ අනුව, 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රිදි පදක්කම දිනා ගත් නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායක ක්‍රීඩකයා වසරේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී. මිට අමතරව එහිදී, ජනප්‍රියම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම ක්‍රීඩා පෞර්ෂයට හිමි සම්මානය ද හිමිකර ගනිමින් ජනාධිපති ක්‍රීඩා සම්මාන උත්සවයේදී බල නැවි දිසානායක විසින් සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට සමත් වන ලදී.

තවද, මෙම උත්සවයට සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් දියුණු කර ගනිමින් ක්‍රීඩා තරඟ ඉසව් රැසකට සහභාගිවී දෙස් විදෙස් තරඟ ජයග්‍රහණ හිමි කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම සිය මාතෘ භූමියට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් බල නැවි දිසානායක ක්‍රීඩකයා විශේෂ ඇගයීමට ද ලක් කරන ලදී.