නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ රැසක්

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි 22 වන දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැත්විණි.

ඒ අනුව, ‘මෙත් සෙවන’ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 52 දෙනෙකු, ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 174 දෙනෙකු, ‘ඉඩම්’ හිමිකම් ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 26 දෙනෙකු සහ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යාධාර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 08 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළුව නාවික හමුදා පුද්ගලයින් 260 දෙනෙකු හට ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රථිලාභ හිමි කර දෙන ලදී. මෙම උත්සව‍යේ නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් ප්‍රථිලාභ පිරිනැමීමේ කටයුතු සුදානම් කරන ලද්දේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ඇතුළු නාවික හමුදා සුභසාධක අංශය විසිනි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, වැඩබලන පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ප්‍රථිලාභ ලබා ගන්නා ලද පවුල් වල සාමාජිකයින් රැසක් සහභාගිවී සිටියහ.