බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 717.82 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 23 වන දින තලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරම, වැලිපර 05 ත් 07 ත් අතර මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 717.82 ක් සොයා ගැනීමට සමත් වූ අතර, මෙම බීඩි කොළ තොගය මුහුදේ පාවෙමින් තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට පසුගිය දින කිහිපය පුරාම උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇත. එමෙන්ම, 2019 ජූලි 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ නාවික හමුදා පුද්ගලයින් සිදු කළ ‍සෝදිසි කිරීමකදි මෙම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 24500 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.