නව මුහුණුවරකින් යුතුව ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එළිදකී

නව මුහුණුවරකින් එළි දැක්වූ ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2019 ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගැන්විණි.

මෙම අවස්ථාව සඳහා නාවික සහායක හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කොමදෝරු ධම්මික කුමාර, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි හා ‘සයුරුසර’ සඟරාවේ විධායක අධීක්‍ෂක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර, මාණ්ඩලික නිලධාරි (මාධ්‍ය) හා ‘සයුරුසර’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ ද එක්වි සිටියහ.

නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන්, පාරිසරික ප්‍රතිපත්තිය ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙම සඟරාව මෙවර කලාපයේ සිට නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් කර ඇත.

තවද, මෙම සඟරාව මෙම කලාපයේ සිට අර්ධ වාර්ෂිකව නිකුත් කිරීමට එහි සංස්කාරක මණ්ඩලය කටයුතු යොදා ඇති අතර, එමඟින් නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම මෙයින් අපේක්‍ෂා කෙරේ.