නීති විරෝධි ලෙස පුද්ගලයෙකු ලඟ තබා ගත් කැස්බෑවෙකු සාගරයට මුදා හැරීමට නාවික හමුදා දායකත්වය

නීති විරෝධි ලෙස පුද්ගලයෙකු විසින් ලඟ තබා ගන්නා ලද කැස්බෑවෙකු මල්ලාකම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාගරයට මුදා හැරීමට 2019 ජූලි 23 වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

ඒ අනුව, නීති විරෝධි ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගන්නා ලද පුද්ගලයෙකු ඉලවාලි, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මල්ලාකම්, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අධිකරණය මඟින් එම කැස්බෑවා සාගරයට මුදා හැරීමට නියෝග ලබාදී ඇත. ඒ අනුව ඉලවාලි පොලිසිය, වනජීවි දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේදී එම කැස්බෑවා ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට කටයුතු කරන ලදී.

තවද, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරයන් වලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් විශාල පිරිසක් සාගරයට මුදා හැරිමට ද කටයුතු කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සාගර සම්පත සුරැකීම පිණිස ඇපකැපවී මෙහෙයුම් සිදු කරමින් සිය සෘජු දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.