නික්ම යාමට නියමිත ජපාන ආරක්‍ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද (ජූලි 24) බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමු විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්විම් ලබා පැමිණි ලුතිනන් ගකු ෆුකව්රා සහ බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා සහභාගිවී සිටියහ. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපති විසින් කපිතාන් අට්සුහිරෝ මොරොරෙ සහ ලුතිනන් ගකු ෆුකව්රා වෙත සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.