ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව 2019 ජූලි 23 සහ 24 යන දෙදින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය.

ඒ අනුව පළමු දිනයේ කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල විසින් පාකිස්ථානු නාවික නියෝජිත පිරිස පිළිගන්නා ලදි. දින දෙකක් පුරා පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 13 දෙනෙකු සහභාගීවු අතර, එහි ප්‍රදානත්වය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා විසින් දරන ලද අතර, පකිස්ථානු නියෝජිත පිරිසේ ප්‍රදානත්වය මෙහෙයුම් සැලසුම් ඒකකයේ සහකාර නාවික ප්‍රධානී, කොමදෝරු කයිබර් සමාන් විසින් දරන ලදී.

දෙරට අතර තෙවන වරට පවත්වන ලද මෙම මාණ්ඩලික සාකච්ඡා මාලාව තුලින් දෙරටේ මිත්‍රත්වය සහ අනෝන්‍ය සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට හේතු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙරටේ නියෝජිත ප්‍රධානීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.