මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ඉරනතිවු දූපතේ සිදු කළ වැටලීමකිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඉරනතිවු දුපතේ සිදු කළ වැටලීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ‍සොයා ගෙන ඇති අතර, ඒවා නිවසක් තුල සඟවා තිබියදි මෙලෙස සොයාගෙන ඇත. එහිදී, ඩෙටනේටර් 28 ක්, මිටර් 02 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නූල් 02 ක්, වස බෝතල් 01 ක් චාර්ජස් 03 ක් සොයා ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26, 31 සහ 37 වන වියෙහි පසුවන නච්චිකුඩා, ඉරනතිවු සහ වීරවිල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, පුපුරණ ද්‍රව්‍ය කිහිපය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නච්චිකුඩා පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.

තවද, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය අතිවිශාල වන බැවින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.