පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා මෙරටට පැමිණ සිටි පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, පකිස්ථානු නියෝජිත පිරිසේ ප්‍රදානත්වය දරණ පාකිස්ථානු නාවික හමුදා මෙහෙයුම් සැලසුම් ඒකකයේ සහකාර නාවික ප්‍රධානී, කොමදෝරු කයිබර් සමාන් ඇතුළු නියෝජිත පිරිස දකුණු නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගත් අතර, එහිදී නියෝජිත පිරිස දකුණු නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අරුණ ධනපාල හමුවි සුහද පිළිසඳරක නිරත වන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, අනතුරුව නියෝජිත පිරිස ‍ගාලු කොටුව හා සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට ද එක්වීය.