ඇමරිකානු මැරීන් බලකා නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති හමුවිය

එක්සත් ජනපද ශාන්තිකර කලාප මැරීන් බළකා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්‍ෂක උපදේශක කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූලි 24 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ජයන්ත කුලරත්න හමුවිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්‍ෂක උපදේශක කාර්යාලයේ ඉස්රාඑල් රෝසා මහතා ඇතුළු තිදෙනෙකුගෙන් (03) යුත් නියෝජිත පිරිසක් මෙලෙස නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති හමු වූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරින් බළකායේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (මැරින්), කොමාණ්ඩර් (මැරින්) ඉන්දික විජේරත්න සහ පළමු මැරින් බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (මැරින්) ගයන්ග කාරියවසම් සහභාගිවී සිටියහ.

එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා සහ එක්සත් ජනපද ශාන්තිකර කලාප මැරීන් බළකායේ නියෝජිතයින් අතර 2019 සැප්තැම්බර් මාසයේදී පැවැත්විමට නියමිත වැඩමුළුවක් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.