නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් දකුණු සහ ගිණිකොන නාවික විධානයන්හි නාවික පුද්ගලයින් විසින් කතරගම පුදබිම සහ කුමන ජාතික උද්‍යාන පරිශ්‍රයන් පිරිසිදු කිරිමේ වැඩසටහන් අද (ජූලි 27) ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් කතරගම පුජා භූමිය අවට ප්‍රදේශය සහ මැණික් ගං ඉවුර ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් මෙලෙස ක්‍රියාත්මක කරන ලදී. එහිදී, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍රවී තිබූ පුජා භූමිය නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් බවට පත් කිරීමට හැකි විය. එහිදී පුජා භූමියෙහි විසිරි තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. තවද, නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම සද්ක්‍රියාව පූජා භූමියට පැමිණ සිටි ගිහි, පැවිදි විශාල පිරිසකගේ අගය කිරීමට ලක් විය.

එමෙන්ම, කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා කුමන ජාතික උද්‍යාන හරහා ගමන් කල බැතිමතුන්ගේ පාද යාත්‍රාවෙන් අනතුරුව කුමන ජාතික උද්‍යානය තුල අද (ජූලි 27) විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගේ උපදසේ මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, ඔකඳ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ප්‍රදේශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණි. තවද, කුමන ජාතික උද්‍යානය තුල ජිවත් වන සතුන්ගේ ජීවිත සුරක්‍ෂිත කර ගැනීම මුලික අරමුණ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

තවද, පරිසරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නිරන්තර කැපවීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදාධිපතිතුමා ගේ උපදෙස් මත පරිසර හිතකාමි ව්‍යාපෘති රැසක් මේවන විට ක්‍රියාත්මක කර ඇත.


කුමන ජාතික උද්‍යාන පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහන


කතරගම පුදබිම පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහන