ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පන්තියට එක් වූ පී 625 නෞකාවේ ප්‍රථම මෙහෙයුම - රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2019 ජූලි 27 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව දික්ඕවිට, ධීවර වරායෙන් 2019 ජුනි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සඳලි වැලන්ටයින් 5’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හෘදයාබාධයක් හේතුවෙන් රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අළුතින්ම එක් වූ පී 625 නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 274 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව පී 625 නෞකාව වෙත ලබා ගන්නා ලදී. නෞකාවේදි රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ‍දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පංතියට එක්විමෙන් පසු සිදු කළ ප්‍රථම මුදවා ගැනීමේ මෙහෙයුම මෙය බවට සනිටුහන් විය. එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවශ්‍ය සහාය ලබා දීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.