ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් 2019 ජූලි 27 වන දින වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී විශේෂ ක්‍ෂේත්‍ර සෞඛ්‍ය සායන ඇතුළුව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ දශක 3 ක් තිස්සේ පැවති ත්‍රස්ත ගැටුම් හේතුවෙන් වැලිඔය ජනතාව පීඩා විඳිමින් සිටිය ද එම ජනතාව කෘෂිකර්මාන්තය තුළින් රට ස්වයංපොෂිත කිරීම සඳහා සිය අඛණ්ඩ දායකත්වය සපයා ඇත. එමෙන්ම නිදන්ගත වකුගඩු රෝග ඇතුළු රෝග රැසකින් පීඩා විඳින මෙම ජනතාව හට මූලික වෛද්‍ය පහසුකම් ද පවා නොමැති බව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය නිරික්‍ෂණය කර ඇති අතර, ඒ අනුව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය විද්‍යාලය විසින් මෙම විශේෂ වෛද්‍ය කඳවුර ක්‍රියාත්මක කරන ලදී.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් වන මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, වෛද්‍ය රියර් අද්මිරාල් සේන රූප ජයවර්ධන සහ එයර් වයිස් මාෂල් ලලිත් ජයවීර යන ජ්‍යේෂ්ඨ නිලධාරින්‍ ගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයන්ට අනුයුක්ත වෛද්‍යවරුන්, නිලධාරින් සහ නාවිකයින් මෙම වෛද්‍ය කඳවුර සාර්ථක කර ගැනීම සඳහා සිය සහයෝගය සහ දායකත්වය සපයා ඇත.

ළමා රෝග, ප්‍රසව, අක්‍ෂි, චර්ම, විකලාංග, විකරණවේදිය, පවුල් සෞඛ්‍ය යන ක්‍ෂේත්‍ර වල වෛද්‍ය විශේෂඥයන් සහ වෛද්‍ය රසායනාගාර ශිල්පීන් සහභාගී වු මෙම කඳවුරේදී රෝග පරීක්‍ෂාව, සියළු පරීක්‍ෂණ සහ ප්‍රතිකාරද නොමිලේ ලබා දෙන ලදි. ඒ අනුව, වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට දුෂ්කර වූ ප්‍රදේශයක් වන වැලිඔය ප්‍රදේශයේ රෝගීන් 1700 කට අධික පිරිසක් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත. මීට සමගාමිව අධ්‍යාපනය ලබන දරුවන්ට සහ ගර්භනී මාතාවන්ට පෝෂණ අතිරේක ලබා දීමට ද එහිදී සංවිධානය කර තිබුණි.

එමෙන්ම මෙම වෛද්‍ය කඳවුරට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් වැලිඔය, පරණගම වැව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් 138 දෙනෙකු සඳහා නිල ඇඳුම්, සපත්තු, පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය සහ වියලි සලාක පරිත්‍යාග කිරීමටත්, පාසල වෙත ඡායා පිටපත්, ස්කෑන් පහසුකම් සහිත මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට ද කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව විසින් ඉදිකරන ලද පාසල් ගොඩනැගිල්ලක් ද සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් සිසු අයිතියට පත් කිරීම ද එහිදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් මෙන්ම උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසුරිය ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගිවී සිටියහ.