ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 28) නාවික හමුදා බාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා බාරයට පත් ධීවරයින් වයස අවුරුදු 18, 22, 26, 30 සහ 36 වන වියෙහි පසුවන අයවළුන් වන අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, 2019 ජූලි 24 වන දින ද ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදී. තවද, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.