කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 28 වන දින කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කිලිනොච්චිය, මැන්ඩකල් ආරු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් විසින් එම ස්ථානය සහ පුද්ගලයින් පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔවුන් නිධන් හාරමින් සිට ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. එහිදී එම පුද්ගලයින් සහ නිධන් හෑරීමට යොදා ගත් උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 29, 34, 35, 47 සහ 48 වන වියෙහි පසුවන අවිස්සාවේල්ල සහ පාදුක්ක යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ නිධන් හෑරීමට යොදා ගත් උපකරණ නච්චිකුඩා, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

තවද, පෞරාණික වටිනාකම්වලින් යුක්ත මෙම උරුමයන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවාසී අපසැමගේ යුතුකමක් සහ වගකීමක් වන අතර, මෙවැනි නීති විරෝධී කටයුතු මැඩපැවැත්විම සම්බන්ධයෙන් නාවික හමුදාව අවධානයෙන් සිටී.