මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 29 වන දින හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරනු ලබන පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව බංගදෙණිය ප්‍රදේශයේ මෙම මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර, එහිදී යතුරු පැදියකින් ගමන් කළ සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇති අතර, ඔහු පරික්‍ෂා කිරීම සඳහා යතුරු පැදිය නැවැත්විමට අණ කිරීමේදී අදාල සැකකරු යතුරු පැදිය දමා පලා ගොස් ඇති අතර, වැඩිදුර විමර්ශනයේදී එම යතුරු පැදියේ තිබී කේරළ ගංජා ග්‍රැම් 190 ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම කේරළ ගංජා ‍ප්‍රමාණය අලෙවි කිරීම සඳහා මෙම සැකකරු විසින් ගෙන යෑමට ඇති බව සැක කෙරෙන අතර, නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරු පැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත, පොලිසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.