කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අගෝස්තු 01) කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු කැබ් රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී කැබ් රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී පාර්සල් 10 ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.

කැබ් රථයේ සිටි සැකකරුවන් වයස අවුරුදු 40 සහ 42 වන වියෙහි පසුවන පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.