ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පන්තියට ප්‍රථමයෙන්ම එක් වූ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව 2019 අගෝස්තු 02 වන දින සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරන ලදී.

ඒ අනුව, නෞකා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායට මුල් තැන දෙමින් අද නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (සංඥා) තුෂාර කරුණාතුංග විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ පිහිටි ත්‍රිෆැතම් ජැටියේදී අංශ පිරික්සුම පවත්වන ලද අතර, එහිදී අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදී. අනතුරුව ‍අණදෙන නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් නැව් මුළුව සඳහා මංගල භෝජන සංග්‍රහ චාරිත්‍රය පැවැත්වීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු කාර්යය මණ්ඩලය විසින් නෞකා දිනයට සමගාමීව එළඹෙන සති‍ය පුරා වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති අතර, එහිදී, සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික වැඩසටහන් පැවැත්වීම, ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ත්‍රිකුණාමල‍ය, ළමා නිවාස‍ය කේන්ද්‍ර කරගනිමින් සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කර ඇත. තවද, නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සුහද හමුවක් සහ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.