236 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 366 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 236 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 අගෝස්තු 03 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසුරිය, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජානක නිස්සංක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික‍ නෞකා ශික්‍ෂා ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක් ද, යුද්ධ සහ ගුවන් හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් ඇතුළු විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරුණු අතර, එහිදී 236 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය සහ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය අධුනික නැවි ඩීඑම්එස්අයි ගුණවර්ධන හිමිකර ගත් අතර, අධුනික නැවි ඒවීසීපී මධුශංක නාවිකයා සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි ආර්කේජීඑස්ඩී රන්දිම නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව 236 වන බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘වසභ’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින්, මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීමේ යුග මෙහෙවරට උරදීම සඳහා තම දුවා දරුවන් නාවික හමුදාවට දායාද කළ දෙමාපියන්ට මෙන්ම නාවික හමුදාවට උචිත ලෙස නිසි නිපුණත්වයකින් හා දැනු‍මෙන් පිරිපුන් නාවිකයින් බිහි කිරීම සදහා කැපවී ක්‍රියාකල ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති ඇතුලු උපදේශක මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රණාමය පුද කර සිටින ලදී. තවද, වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, තමාට පැවරෙන රාජකාරි ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් යුතුව ඉටු කරන ලෙස විසිර යන ලද ආධුනික නාවිකයින් හට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම, 236 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංදර්ශණයකින් ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.