නාවික හමුදාව විසින් කරෛයිනගර්, කැසුරිනා වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

උතුරු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ උපදෙස් මත අද (අගෝස්තු 04) සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය, කරෛයිනගර් දූපතේ කැසුරිනා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න ඇතුළු නාවික පුද්ගලයින් මෙන්ම සමුද්‍රීය පරිසර නිලධාරීන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.