සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල වරාය පිවිසුම අසලදී 2019 අගෝස්තු මස 05 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, සැක කටයුතු ධීවර යාත්‍රාවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් උසාවි නියෝගයකට අනුව එම දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම්දී ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් මෙම සැක කටයුතු ධීවර යාත්‍රාව සෙවිම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ගාල්ල වරාය පිවිසුමේ ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව, රාජකාරියේ යෙදී සිටි නාවික පුද්ගලයින් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ‘තනූජා දුව 03’ නමැති මෙම සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් හත්දෙනෙකු (07) ගාල්ල ධීවර වරාය වෙත පැමිණෙමින් සිටියදී ගාල්ල වරාය පිවිසුමේදී නාවික හමුදා බාරයට ගෙන ඇත.

තවද, මුර සංචාරයේ යොදවා සිටි යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දැඩි විමසිලිමත් බව මත සැක කටයුතු මෙම ධීවර යාත්‍රාව සහ ධීවරයින් නීතියේ රැහැනට හසුකර දීමට හැකි වූ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනා සහ ධීවර යාත්‍රාව නාවික හමුදා විමර්ශන කටයුතු වලින් අනතුරුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

තවද, ශ්‍රී ලංකා මුහුදු තීරය අවට සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවාගේ උපදෙස් මත නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.