දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් සුදානමින්

ගාල්ල ප්‍රදේශයේ වෙරළ තීරයන්හි සුන්දරත්වය නැරඹීමට සහ විනෝදවීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජිවිත ආරක්ෂාව සදහා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ අධික්‍ෂණය යටතේ ගාල්ල, රූමස්සල ජංගල් බිච් හා සුදු වැල්ල යන වෙරළ තීරයන් සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජිවිතාරක්‍ෂක කණ්ඩායම් මෙලෙස යෙදවීමට කටයුතු කර ඇත.

තවද, පාසල් නිවාඩු සමයේ ගාල්ල, රූමස්සල වෙත පැමිණෙන සංචාරකයන්ගේ පැමිණිම සීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර, එසේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙරළ තීරයන්වල අනාරක්ෂිත ලෙස ස්නානය කිරීම, විවිධ ජල ක්‍රීඩා සඳහා යොමුවිම සහ අනාරක්ෂිත ස්ථාන වල සිට ඡායාරූප ලබා ගැනීම ආදි කටයුතු වැලැක්විම සඳහා මෙලෙස නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යොදවා ඇත.

කෙසේ නමුත්, නොදන්නා සහ අනාරක්ෂිත ස්ථානවල ජලයට බැසීමෙන් වැලකීමටත්, ආරක්‍ෂිත පුවරු ප්‍රදර්ශනය කර ඇති ස්ථානවල දිය නෑමටත්, තමාගේ සහ තම අවට සිටින අයගේ ආරක්‍ෂාව පිළිබඳව නිරතුරුව අවධානයෙන් සිටිමටත් අප සැම අවධානය යොමු කල යුතුව ඇත.

එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.