කොළඹ වරාය පිවිසුමේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ වරාය, පොලිසිය එක්ව අද (අගෝස්තු 06) සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුමේ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා සහාය ඇතිව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානයට ‍අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ, වරාය ‍පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද දින සිදු කළ මෙහෙයුමකදී කොළඹ වරාය පිවිසුම අසල ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රා තුනක් (03) ද පොලිසිය බාරයට ගෙන ඇත. තවද, එම පුද්ගලයින් දික්ඕවිට සහ පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් ඉදිරි පරික්‍ෂණ කටයුතු කොළඹ, වරාය පොලිසිය විසින් සිදු කරනු ලබයි. තවද, වරායන්ට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර වන ලෙස ධීවර කර්මාන්තයේ නිරතවීම ජාත්‍යාන්තර නෞකා ගමනාගමනයට බාධාවක් මෙන්ම ධීවරයින් ද අනතුරට පත්විමේ අවධානමක් ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව ධීවර කාර්මාන්තයේ නියැලීමට සියළු ධීවර ප්‍රජාව කටයුතු කළ යුතුව ඇත.