බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව අද (අගෝස්තු 06) හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම ‘හම්බන්තොට’ ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පන්වැව, පොලිස් විශේෂ කාර්ය බලකා‍යේ නිලධාරීන් එක්ව අද සිදු කළ සෝදිසි කිරීමකදී යතුරු පැදියකින් ගමන් කළ සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇත. එම පුද්ගලයා පරික්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබි බලපත්‍ර නොමැති මෙම කොටන තුවක්කුව සොයා ගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 52 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, කොටන තුවක්කුව සහ යතුරුපැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.