කන්කසන්තුරෙයි තිස්ස විහාරයේ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කෙරෙයි

නාවික පුද්ගලයින්ගේ බෞද්ධාගමික කටයුතු වෙනුවෙන් උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ ස්ථාපිත කර ඇති තිස්ස විහාරයේ අභිනවයෙන් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය අද (අගෝස්තු 06) විවෘත කරන ලදි.

ඊට සමගාමිව 2019 අගෝස්තු 05 වන දින පූජ්‍ය මොරගොඩ ධම්මානන්ද සහ පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස යන නාහිමිපානන් වහන්සේලාගේ ප්‍රදානත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන පිරිත් දේශනයක් පැවත්වුණි. එහිදී උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න විසින් සධාතුක කරඬුව වැඩම වූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන පිරිත් දේශනයෙන් අනතුරුව, පසුදින ගරුතර සංඝයාවහන්සේලා විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි. අනතුරුව සංඝයාවහන්සේලා විසින් මියගිය රණවිරුවන් හට පිංඅනුමෝදන් කිරීමත්, ආබාධිත රණවිරුවන් සඳහා ඉක්මන් සුවය පැතීමත්, නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන් හට සෙත්පතමින් ආශිර්වාද කිරීමත් එහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකා සහ ආයතනයන්ට අනුයුක්ත අණදෙන නිලධාරින් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.