ඉරණතිව් දූපතේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ප්‍රථිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 06 වන දින ඉරණතිව් දුපතේදී නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු මුහුදු මඟින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා මුලංකාවිල් රෝහල වෙත ඇතුලත් කරන ලදී.

ඒ අනුව, ඉරණතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පැමිණ සිටි ධීවරයෙකු හට නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් එම ධීවරයා අසාධ්‍ය තත්වයේ සිටින බව ඉරණතිව් දූපතේ සිටි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවික පුද්ගලයින් නිරික්‍ෂණය කර උතුරු මැද නාවික විධාන මූලස්ථානය දැනුවත් කිරීමෙන් පසු ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ විධාන මූලස්ථානය එම රෝගියා රෝහලක් වෙත ඇතුලත් කිරීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවිකයෙකු ද ඇතුළුව වෙරළබඩ මුර යාත්‍රාවක් ඉරණතිව් දූපත වෙත පිටත් කර යැවිමට කටයුතු කරන ලදී.

එහිදී, අසාධ්‍ය වූ රෝගියා වෙරළබඩ මුර යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් මුලංකාවිල් ප්‍රදේශය වෙත රැගෙන ඒමෙන් පසු නාවික හමුදා ගිලන් රථයක් මඟින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලංකාවිල් රජයේ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී.

මෙම පුද්ගලයා ඉරනමාතා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක් වන පුද්ගලයෙකු වන අතර, ඉරණතිව් දුපතේ පිහිටි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඉතා කෙටි කාලයක් තුල විධාන මූලස්ථානය දැනුවත් කිරීම හේතුවෙන් සිදුවිමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවි ඇත.

එමෙන්ම, යාපනය සහ මන්නාරම ආශ්‍රිත දූපත්වල ජීවත් වන පුද්ගලයින් ගේ දෛනික කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිම මෙන්ම ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිවි ඇත.