මුහුදේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ එක් මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කැළණි ගඟ මුහුදට වැටෙන ගං මෝයේදී දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් පුද්ගලයෙකුගේ (01) මෘත දේහයක් අද (අගෝස්තු 10) සොයා ගැනීමට නාවික හමුදාව සමත් වීය.

2019 අගෝස්තු 09 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් දෙදෙනෙකු කැළණි ගඟ මුහුදට වැටෙන ගං මෝයේදී සිය ධීවර යාත්‍රාව පෙරලී දියේ ගිලී අතුරුදන් වී ඇත. ඒ සම්බන්ධයෙන් වත්තල පොලිසිය විසින් නාවික හමුදාව වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, බටහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, එක් පුද්ගලයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වූ අතර, එම මෘත දේහය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. මෙසේ දියේ ගිලී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වන වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා වත්තල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.