කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 12 යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ ඉල්ලවාලෙයි, පොලිසිය එක්ව පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී නිවසක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සොයා ගෙන ඇති අතර, එහිදි නිවසේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු ඉල්ලවාලෙයි, පොලිසිය විසින් සිදුකරනු ලබයි.

තවද, මෙම විධානය විසින්ම අද කීරමලේ ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේදී ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සමඟ සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට ද කටයුතු කරන ලද අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩපැවැත්විමට හැකිවී ඇත.