මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් 2019 අගෝස්තු 12 දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය.

විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත. එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.