මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 අගෝස්තු 12 මාතර, නූපේ ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ කොක්මාදූව, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මාතර, නූපේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නූපේ හංදියේ දුම්රිය හරස් මාර්ගය අසල සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බව නිරීක්‍ෂණය කර ඇත. සිදු කළ වැඩිදුර පරික්‍ෂාවේදී ඔවුන් ලඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 540 ක් සොයා ගෙන ඇති අතර, එහිදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් කේරළ ගංජා අලෙවි කිරීමට සුදානම් කර සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 26 සහ 27 වන වියෙහි පසුවන මාතර, නූපේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මාතර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී.