නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 451.1 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 13) අළුයම මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී සැක කටයුතු පාර්සල් දෙකක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සල් දෙක පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 138.1 ක් සොයා ගෙන ඇත.

තවද, එදිනම එම නාවික විධානය විසින්ම තලෙයිමන්නාරම, පරණ ජැටිය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වෙරළට ගොඩගසා තිබූ බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 313 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 04 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් අද දින සිදු කරනු ලැබූ මෙහෙයුම් මඟින් බීඩිකොළ කිලෝග්‍රෑම් 451.1 සොයා ගැනීමට සමත් වූ අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

එමෙන්ම, පසුගිය දින කිහිපය පුරා උතුරු මැද නාවික විධානය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් ‍මඟින් අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1000 කට අසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇත. තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.