නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 46 ත් අතර වියෙහි පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

මෙවැනි තහනම් ධීවර දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ විමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.